ධර්මිෂ්ඨ සමාජයක්, යහපාලනයක්, සුරක්ෂිත රටක් මේ අවුරුදු 70 කි දිගින් දිගට රට භාර ගත් පාලකයින් පාලනයට එන්නට ප්‍රථම අපට දුන් සිහින ප්‍රතිච්ඡාවන්ය. සිදු වූයේ කුමක්ද? මේවායේ ඇති තේරුම් වලට හෝ සාධාරණ යක් ඉටු වූවාද? මේවායේ ඇති අර්ථයන් තවත් පිරිසුදු වුනාද? නැතිනම් කැත වුනාද?

රටේ පාලකයා විය යුත්තේ වැඩිය බොරු කියන කෙනාද? ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසන කෙනාද? ප්‍රතිපත්ති ගරුක දේශපාලන යේ නිරතව සිටින කෙනාද?

ලේ සුවදට ප්‍රිය කරන, දේශපාලන කපටි කමින් බල ලෝභිත්වයට පොරකන අපේක්ෂකයින්ට ඇයි ඡන්ද දායකයින් ප්‍රිය?

සිතන්න එදා විජාතික බලවේගයන්ගෙන් නිදහස්ව අවුරුදු 70ක් ගිය තැන අප රටක් වශයෙන් ඇත්තටම නිදහස්ද? අප රටේ උඩුදුවන කැළිකසළ ප්‍රශ්නයට පිළිතුරක් නැති තැන වෙනත් රාජ්‍යයන්ගේ කැළි කසලත් මෙරටට රැගෙන ඒම කොතරම් දුරට සාධාරණ ද?

රටේ දිනක ප්‍රචාරණයට යන මුදල් කන්දරාව, පාර්ලිමේන්තුව දිනකට රැස් වීමට යන මුදල් ප්‍රමාණය, ඒත් එක්කම පාර්ලිමේන්තු වේ දිනකට ඉවත ලන ආහාර වලින් සිදු වන නාස්තිය, එකි නොකි මෙවන් නාස්තියන් අවම වන දාක තරුණයින් මෙය ‘ඉන්න හිතෙන රටක්’ ලෙස පිලි ගනියි. ඒ දවස පත් වන තුරු ‘ඉන්න හිතෙන රටක්’ තවත් එක් පෝස්ටරයකට පමනක් සීමා වෙයි.

එදා අද්දැකීම් ලද දේශපාලකයින් රටේ මුල් පුටුවට තරග කරන විට අද රටේ තම ජීවිතේට එක් ක්ෂණයක් පාර්ලිමේන්තු සභා ගැබේ අසුනක වාඩි නොවු අය රටේ මුල් පුටුවට වාඩි වන්නට ලක ලෑස්ති වන විටම හැගෙන්නේ රට අද පත්ව ඇති විහිලු සහගත බව නොවේද? රටේ පලමු පුරවැසියා පත්ව ඇති විහිලු සහගත බව නොවේද?

රටේ පලමු පුරවැසියා සිට අවසන් පුරවැසියා දක්වා හොරකම, වංචාව, මිනී මැරුම් රජ කරන තැනක හොරකම වංචාව නාස්තිය මීනී මැරුම් අත හැර අප ජන්ම භූමිය සුඛිත මුදිත වේද?

මෙවන් තත්ත්වයක් ඇති රටක, මීලඟට පත්වන මුල් පුරවැසියාට අලු ගසා නැගිට සිටිය හැකිද? අප නැතිනම් තවත් අවුරුදු 5ක් මෙවන් ආකාරයටම සිහින දකීද?

– රෙසිත රණසිංහ ( @ResithaOFFICIAL )

11/09/2019